Skip to main content

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 පූර්ව අයවැය සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන්

 

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවට අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු වන පරිදි මෙරට පාසල් පද්ධතිය විධිමත් කිරීම සහ විෂයමාලා ප්‍රතිසංස්කරණය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරන ලෙසත්, රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් කළ යුතු ආයෝජන නිසි පරිදි සිදු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

එමෙන්ම දිවයින පුරා විසිරී තිබෙන වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් වෙනුවට, අධ්‍යාපන අමාත්‍යාංශයේ වෘත්තීය අධ්‍යාපන අංශයේ මැදිහත්වීමෙන් ජාතික වෘත්තීය අධ්‍යාපන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශට 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත සාමාන්‍ය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන යන අංශ  03යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය, මතුව ඇති ගැටළු සහ අභියෝග පිළිබඳව මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කෙරිණි.

“ශ්‍රී ලාංකික අනන්‍යතාව බෙදා ගන්නා දක්ෂ පුරවැසියන් තුළින් ගෝලීය සමාජයේ විශිෂ්ටත්වය කරා ළඟා වීම” යන දැක්ම යටතේ වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳවද මෙහිදී පුළුල් අවධානය යොමු කෙරිණි.

විදේශ ආධාර යටතේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳවද සාකච්ඡා කෙරුණු අතර සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය, ද්වීතියික අධ්‍යාපන ආංශික සංවර්ධන ව්‍යාපෘතිය ආදී ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

දීර්ඝ කාලයක් පුරා පාසල්වල ක්‍රියාත්මක වන ව්‍යාපෘති යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

ප්‍රාථමික පාසල් සංවර්ධනය ඇතුළු පාසල් සංවර්ධන වැඩසටහන් පිළිබඳවද ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු විය. 

එමෙන්ම පාසල් පෝෂණ ආහාර වැඩසටහන, ශිෂ්‍යාධාර, පෙළපොත් සහ නිලඇදුම් ලබා දීමේ වැඩසටහන් පිළිබඳව මෙන්ම, සුරක්ෂා රක්ෂණ යෝජනා ක්‍රමය, දුෂ්කර පාසල් සහ පිරිවෙන් සිසුන් වෙත සපත්තු ලබා දීම, ශිෂ්‍යාවන් වෙත සනීපාරක්ෂක තුවා ලබා දීම, තාක්ෂණ ධාරා ශිෂ්‍යත්ව වැඩසටහන, සුජාත දියණී ශිෂ්‍යත්ව වැඩසටහන සහ සුභග ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය ආදි සුබසාධන වැඩසටහන්වල ප්‍රගතියද විමසීමට ලක් කෙරිණි.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කළේ ලබන වසරේ සිට අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පෙර පරිදි නියමිත කාලය තුළ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන බවය. 

2026 ජනවාරි 05 වන දින නව පාසල් වාරය ආරම්භ වීමට පෙර පාසල් පෙළපොත් සහ නිලඇදුම් ලබා දීමට සැලසුම් කරමින් තිබෙන බවද නිලධාරිහු මෙහිදී පෙන්වා දුන්හ.

උසස් අධ්‍යාපන අංශය යටතේ ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳවද  පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, මෙම වසරේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල ආරම්භ කර ඇති නව ඉදිකිරීම් පිළිබඳවද වෙන් වෙන්ව සාකච්ඡා කෙරිණි. 

ලබන වසරේදි මූලික වශයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ නේවාසික පහසුකම් පුළුල් කිරීම, විශ්වවිද්‍යාලවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම මගින් සුවපහසු ඉගනුම් පරිසරයක් ඇති කිරීම, පර්යේෂණ සහ නවෝත්පාදන දිරිගැන්වීම් මගින් විශ්වවිද්‍යාල ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල ඉහළට ඔසවා තැබීම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව උපාධි පාඨමාලා සහ විෂය නිර්දේශ සමාලෝචනයට ලක් කරමින් නව අධ්‍යාපන වැඩසටහන් සකස් කිරීම සිදු කරන බව නිලධාරිහු මෙහිදී පැහැදිලි කළහ.

වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය විධිමත් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, 2026-2030 කාලය තුළ වෘත්තීය පුහුණු ආයතන 50ක් නවීකරණය කිරීම සහ විශිෂ්ටතා මධ්‍යස්ථාන 09ක් සංවර්ධනය කිරීම ඇතුළු වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරිණි. 

watch>>>

Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...