Skip to main content

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට් නිවේදනය 31 වැනිදා

 

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය මේ මස 31 වැනිදා නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඒ මහතාගේ සභා‍පතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථවේදීය. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ ප්‍රධාන අංශයක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවය.

එසේම අධිවේගී මාර්ගවල ගමන් කරන පාසැල් බස් රථ, කාර්යාල සේවා ප්‍රවාහන බස්රථ, විනෝද චාරිකා බස් රථ සහ අනෙකුත් බස් රථ සඳහා ද ආසන පටි සැකසීමට මාස 3ක පමණ කාලයක් ලබාදෙන බවද ඔහු පෙන්වා දුන්නේය. 

විශේෂයෙන්ම රු. 2000 පමණ මිලකට පැවති ආසන පටි මිල රු. 5,000ත් 7,000ත් අතර මිලක් දක්වා මේ වන විට ඉහළ ගොස් ඇති බවත් මෙය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ‍පරීක්ෂා කර බැලිය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. 

දුර ගමන් සේවා බස් රථ සඳහාද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ මතය විමසූ බවත් මේ සම්බන්ධයෙන් සියලුම දෙනා පාහේ සිය කැමැත්ත පළ කළ බවත් මෙහිදී අමාත්‍යවරයා පෙන්වා දුන් අතර එබැවින් ඉදිරියේදී දුරගමන් සේවා බස් රථ සඳහා ද ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 

අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින් අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමේදී වාහන අමතර කොටස්වල තත්ත්වය පරීක්ෂා කරමින් ලකුණු ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කරන බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කරන බව ද පැවසීය. 

එමෙන්ම වාහනවල ටයර් අවශ්‍ය නියමිත තත්ත්වයන් සහ ප්‍රමිතියෙන් නොපවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් කිරීමට අවසර ලබා නොදෙන බව ද ඔහු සඳහන් කළේය. 

ත්‍රීරෝද රථ, වෑන් රථ ඇතුළු පෞද්ගලික ප්‍රවාහන ක්ෂේත්‍රයේ රියදුරන් වෙනුවෙන් සුබසාධන අරමුදලක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට අවසන් කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනුමතියට ඉදිරිපත් කරන බවත් මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 

දුරගමන් සේවා සහ අධිවේගී මාර්ගයේ ගමන් කරන බස් රථ ගාල් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය. 

එසේම දුම්රිය සේවය යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරිම සඳහා සහ වරාය සම්බන්ධ අවශ්‍ය යාවත්කාලීන කිරීම් සිදු කිරීම සඳහා යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අනු කමිටු දෙකක් පත් කිරීම සහ එහි සාමාජිකයින් නම් කිරීම ද මෙහිදී සිදු කෙරිණි. 

මීට අමතරව කඩවත - මීරිගම අධිවේගී මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු සැප්තැම්බර් මස සිට ආරම්භ කිරීම සම්බන්ධයෙන් සහ එහි පිළිසකර කිරීම් අවසන් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා විය. More>>>

Watch>>>

Comments

Popular posts from this blog

ත්‍රීරෝද රථයක් අඩි පනහක පමණ ප්‍රපාතයකට පෙරළෙයි

  ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වටවල ප්‍රදේශයේදී අඩි පනහක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් ගමන් කර ඇත.  අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබේ. වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය. More>>>

නිමාවක් නොදකින මාරක බස් අනතුරු

  මෙරට මෑත ඉතිහාසයේ බිහිසුණුම බස් අනතුර ලෙස සැලකෙන්නේ 2005 වසරේදී අප්‍රේල් මස 27 වැනි දින යාංගල්මෝදර ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරය. කුරුණැගල - කොළඹ ප්‍රධාන මාර්ගයේ වළකුඹුර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසල යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී ගල්කිරියාගම සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුළු කිරීමේදී මෙම අනතුර සිදුවිය. කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන මහනුවර සීඝ්‍රගාමී දුම්රිය එම බස් රථයේ ගැටීමෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 35 දෙනෙකු බරපතළ තුවාල ලැබීය. කෙසේ වෙතත් එම අනතුරින් පසුව මෙරට තුළ බස් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුවුවද එම අනතුරු මෙම යාංගල්මෝදර බස් අනතුර තරම් දරුණු නොවීය. කෙසේ වෙතත් ගාල්ල යක්කලමුල්ල සිට ධාවනය වූ බස් රථයක් ඉන්ධන ප්‍රවාහන බවුසර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවූ අතර එම අනතුරින්ද සැලකිය යුතු මගීන් සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්විය. කෙසේ වෙතත් දිනෙන් දිනම සිදුවන අනතුරු අතර බස් අනතුරු ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය මීට ප්‍රධාන හේතුව බවට පොලිස් වාර්තා අනුව අනාවරණය විය. පොලිස් දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා...

පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (05) සොයාගනු ලැබීය. එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ. පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය. කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි. ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය. එහිදී කිසිවක් සොයාගැනී...